Skip to content Skip to main navigation Skip to footer

පීඩිතයන් වෙනුවෙන් දිවි පිදූ මයික් පියතුමා

මීට හරියටම වසර 38 කට පෙර අද වැනි දිනක (1987.11.10) බුත්තල වැසියන්ට අසන්නට ලැබුණේ හද කම්පා කරවන පණිවුඩයක්. බුත්තල වැසියන් ආගම් භේදයකින් තොරව ආදරය කළ මයිකල් පියතුමා වෙඩිතබා ඝාතනය කර තිබුණා. එතුමන් මෙලෙස තම ජීවිතය පූජා කරන්නේ අසරණ ජනතාව අතහැර යන්නට, එතුමාට එල්ල වූ තර්ජන හමුවේ ඔවුන් කිසිදා අත්නොහරින්නට එතුමාණන් ගත් අභීත තීරණය නිසයි.

මයිකල් පෝල් රුද්‍රිගෝ නි.ම.නි. පියතුමා උපත ලබන්නේ වර්ෂ 1927 ජුනි මස 30 වැනි දින දෙහිවලදී‍ යි. දරුවන් හයක ගෙන් යුත් පවුලේ බාල දරුවා වන්නේ ඔහුයි. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු 1947 දී නිර්මල මරිය නිකායික ආධුනික ආරාමයට ඇතුළත් වන්නේ දේව සේවයට ඇති පිපාසය නිසයි. 1948 දී ප්‍රථම වේද භාර ලබා ගන්නා ඔහු දර්ශනවාදය සහ දේව ධර්මය හැදෑරීම සඳහා රෝමයේ ග්‍රෙගෝරියානු විශ්වවිද්‍යාලයට යනවා. එහි වසර හතක අධ්‍යයන කාලයකින් සහ මූලික පූජක පුහුණුව නිම කිරීමෙන් පසු වර්ෂ 1954 ජූලි මස 07 වන දින ඔහු පූජකවරය ලබනවා.

යළිත් ලංකාවට පැමිණෙන ඔහුගේ පළමුවන පත්වීම වන්නේ අම්පිටිය ජාතික දෙව්සත්හලේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමයි. එහිදී මනෝ විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ ජනවන්දනාව යන විෂයයන් උගන්වන එතුමා ඉතා දක්ෂ ගුරුවරයෙකු බවට පත්වෙනවා. දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පැනනැගුණු ඉගැන්වීම් සහ ජනවන්දනා වෙනස්ක්ම් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කරන්නට ඔහු පෙරමුණ ගන්නවා. 1959 දී රෝමයේ ග්‍රෙගෝරියානු විශ්වවිද්‍යාලයෙන් ම තමන්ගේ ප්‍රථම ආචාර්ය උපාධිය පියතුමා ලබාගන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳවයි. 1973 දී එතුමා තමන්ගේ දෙවන ආචාර්ය උපාධිය ලබාගන්නේ දේවධර්මය සම්බන්ධව ප්‍රංශයේ the Institute Catcholique විශ්වවිද්‍යාලයෙන්.

ඉන්පසු කොළඹ සාමාජීය හා සාමජික කේන්ද්‍රය ආරම්භ කිරීමට සහයවෙමින් එහි සේවය කරන මයිකල් පියතුමා එවකට අලුතෙන් බිහිවූ වූ බදුල්ල නව රදගුරු පදවියේ අති උතුම් ලියෝ නානායක්කාර රදගුරු හිමිපාණන් ගේ ආරාධනයෙන් බණ්ඩාරවෙල “සේවක සෙවන” පූජක පුහුණු ආයතනයේ අධ්‍යක්ෂකතුමන් ලෙස සේවය කරනවා.

එතුමාගේ ජීවිතයේ වෙනස්ම අවධියක් ආරම්භ වන්නේ මෙයින් පසුවයි. ආචාර්ය උපාධි දෙකක් හිමි උගත් පූජකතුමෙක් ලෙස මහාචාර්ය වරයෙක් ලෙස සේවය කරන්නට ප්‍රංශයේ විශ්වවිද්‍යාලයකින් ලැබුණු ආරාධනය පවා ප්‍රතික්ෂේප කරමින්, ගරු සැලකිලි ලබමින් සුවපහසු ලෙස ගත කළ හැකිව තිබූ ජීවිතය පීඩාවට පත් අසරණ ජනතාව වෙනුවෙන් කැප කරන්නට මයිකල් පියතුමා තීරණය කරනවා.1980 ඌව පලාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රදේශයේ අළුකළවිට ගමට පැමිණෙන එතුමා මැටි වලින් තනා පොල් අතු සෙවිලි කළ කුඩා පැල්පතක නවාතැන් ගනිමින් පීඩිතයන් සඳහා වූ උන්වහන්සේගේ සේවාව ආරම්භ කරනවා. ගැමියන් අතර මාංශගත වෙමින් ලෝගුව වෙනුවට ගැමියන් මෙන් සරමකින් සහ බැනියමකින් නිතර සැරසී සිටිමින් එම ප්‍රදේශයේ ජීවිතයට උපරිමයෙන් අනුගත වෙනවා. “සුබසෙත් ගෙදර” නමින් ඔහුගේ කුඩා පැල්පත හඳුන්වන පියතුමා එහි “ග්‍රාමීය බොදු කිතුනු සංවාද සහ අවබෝධ හවුල” නමින් මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා. ඒ තුළින් අසරණ ජනතාවගේ යහපත සඳහා බොහෝ දේ කරන්නට පටන් ගන්නවා. එතුමාගේ මේ සේවාව සඳහා සහාය දීමට සේවක සෙවනේ කථිකාචාර්යවරියක් වූ මිල්බර්ගා ප්‍රනාන්දු කන්‍යා සොයුරිය ද, පුහුණුව ලත් හෙදියක වූ බෙනඩික්ටා ප්‍රනාන්දුපුල්ලේ කන්‍යා සොයුරිය ද එක්වුණා. බොදුනු බහුතරයක් විසූ මේ ගම්පියසේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ සහයත් මේ සියලු කටයුතු සඳහා ලැබුනේ මයිකල් පියතුමා තුළ තිබූ ආගමකට ජාතියකට සීමා නොවුණු අසීමිත ආදරය නිසයි හා තේරුම් ගැනීම නිසයි. “මම සංස්කෘතිය තුළ බෞද්ධයෙක්. ඒ වගේම මම ආගම තුළ කිතුණුවෙක්” ( I am a buddhist by culture and a chritian by religion) යැයි පැවසූ ඔහු හුදෙක් ආයතනික ආගමික රාමුවකට කොටුවුනේ නැහැ.

ක්‍රමයෙන් “සුබසෙත් ගෙදර” ගම්මානයේ සියලු දෙනාට සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත්වුණා. එවකට අදටත් වඩා ඉතා දුෂ්කර ප්‍රදේශයක් වූ බුත්තට මේ නිවහන මහා අස්වැසිල්ලක් වුණ. බහුතරයක් සම්ප්‍රදායික ගොවිජනතාව විසූ මේ ප්‍රදේශයට කෘෂිකාර්මික දැනුම ලබා දෙමින් දියුණු කරන්නට මයිකල් පියතුමා ක්‍රියා කලේ විශ්වවිද්‍යාල සිසුන්වද සම්බන්ධ කරගනිමින්. මයික් පියතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් මහත උනන්දුවක් දැක්වු අතර එය ප්‍රචලිත කරන්නට වෙර දැරුවා. වන විනාශය, වාණිජ උක් වගාවෙන් හා රසායනික පොහොර භාවිතය නිසා සාම්ප්‍රදායික ගොවිතැන ට එල්ල වූ තර්ජන හමුවේ ගොවි ගැටළු වෙනුවෙන් පෙනී සිටින්නට පියතුමා පෙරමුණ ගත්තා. ඇතැම්විට බලධාරීන් සහ සමාගම් හිමිකරුවන් ඇතුලු ධනපති පන්තිය සමග ගැටීමටද පියතුමාට සිදු වුණා.

කිතු දහමේ ගැබ් වී ඇති විමුක්ති මග තමන්ගේ ජීවිතය තුළ ජීවත් කරන්නට උපරිම උත්සාහ දැරූ එතුමා තිරසාර සංවර්ධනයක් ඔස්සේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කරමින් දහමකට කොටු නොවූ අධ්‍යාත්මිකත්වයකින් ඔවුන්ව පෝෂණය කළා. මේ අතර රටේ කෝලහාල ඇතිවෙමින් රජය සහ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කණ්ඩායම් අතර ගැටුම් ඇතිවෙමින් තිබුණා. ප්‍රදේශයේ අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී සිටි පියතුමා මේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන්ට සහාය දෙන බවට ආරක්ෂක අංශ තුළ සැකයක් මතු වුණා. මේ සියල්ලන් සමග උන්වහන්සේට එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස ආරක්ෂක අංශ ඇතුළුව විවිධ පාර්ශවයන්ගෙන් තර්ජන එල්ලවන්නට වුනා. එහෙත් මේ අසරණ ජනතාව අත් හැර දමා යෑමට ඔහු කිසිසේත් කැමති වුණේ නැහැ. “අප අනුගමනය කරන ක්‍රිස්තුස් වහන්සේ දුප්පත්. මේ ගමේ ඉන්න මිනිස්සුන්ට කරදරයක දී යන්න තැනක් හෝ ගෙනියන්න දෙයක් නැහැ. කරදරයක් වුණාම ඔවුන් අත්හරිනවා ය කියන්නේ අද දින ක්‍රිස්තු දේහය අතහරිනවා කියන එක. මේ ඔවුන්ට අපව ඕනම වෙලාවක්. මම කැමති නැහැ දුකේදී, සැපේදී ලග හිටිය අයව දාලා යන්න. මම දැන් වයසයි මගේ ඇටකටු සැහැල්ලුයි. ඒවා බුත්තට පස් උනාට කමක් නෑ” මේවායි මරණ තර්ජන හමුවේ උන්වහන්සේගේ වචන වුණේ.

තර්ජන කෙමෙන් වැඩි වෙද්දී ඔවුන්ට තීරණයක් ගන්නට වුණා. 1987 නොවැම්බර් 10වැනිදා පියතුමා සමග එහි සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනා සහ සොයුරියක් සමග ඔවුන් දිව්‍ය පූජාව පැවැත්වූයේ මේ සියල්ල දෙවිදුන් පමුල තබමින් දේව මගපෙන්වීම තුල තීරණයක් ගන්නටයි. මේ තීරණාත්මක මොහොතේ ජනතාව අතහරින්නට අකැමැති වූ පියතුමා ඒ පිළිබඳව කන්‍යා සොයුරියන්ගේ සහ අනිත් කාන්තාවගේ ද අදහස් ද විමසන්නට වුණා. දිව්‍ය පූජාවේ අවසාන භාගයේදී පියතුමා දිව්‍ය පූජාව පැවැත් වූ කාමරයේ ජනේලය දෙසින් පැමිණි සාහසික උණ්ඩයක් පියතුමාගේ හිස පසාරු කරගෙන ගියේ එතුමාගේ මොළයේ කොටසක් සහ ඇහැක් බිම පතිත කරවමින්. ජේසුස් වහන්සේගේ ශ්‍රී රුධිරය තැවරුනු කාලිස් පාත්‍රයේ මයිකල් පියතුමාගේ ලේ ද තැවරුනේ එයත් ජීවිත පූජාවක්බව පසක් කරමින්. අයුක්තිය, අසාධාරණය හමුවේ පලා නොගිය මයිකල් පියතුමා යුක්තිය හා සරණ ජනතාව උදෙසා තම ජීවිතය නිර්භීතව පරිත්‍යාග කළේ තවත් ප්‍රාණ පරිත්‍යාගී ආදර්ශයක් අපහට ඉතිරි කරමින්.

ගැඹුරින් දේව ධර්මය හදාරා තිබූ එතුමා ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් සරලව ජීවත් කළා. මයිකල් පියතුමා ඌවේ පැතිර වූ ගුණ සුවඳ අදත් බුත්තල ගම් පියසේ හමන බව නොරහසක්. අප මේ ජීවත් ව සිටින කාලයත් මයිකල් පියතුමා වැනි පූජක පුතුන්, නායකයන් අපිට අවශ්‍ය කාලයක්. අයුක්තිය අසාධාරණය රජකරන සමාජයක යුක්තිය වෙනුවෙන් නිර්භය ව ඉදිරියට යන ආදරයේ විමුක්ති දහම ලොව පතුරුවන මෙවන් චරිත තව තවත් අප හට දානය කරන මෙන් දෙවිඳුන් යදිමු.

“අවස්ථාව එළඹි විට ජනතාව වෙනුවෙන් මිය යාමට අප සූදානම්ව සිටිය යුතුය” (ගරු මයිකල් රුද්‍රිගු නි.ම.නි.පියතුමා)

🖋️Nimesh Sameera Perera

Image Credit

📷 Princeton University Library

📷 Michael Meyler

📷 OMI WORLD

0 Comments

There are no comments yet

Leave a comment

Your email address will not be published. Required fields are marked *